Friday, August 31, 2018

බුදු දහම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigationJump to search
බුදුරජාණන් වහන්සේගේ උපශාන්තභාවය සහ පෞර්ශය එකවිට පෙන්නුම් කෙරෙන පොළොන්නරුව ගල් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ.
[පෙන්වන්න]
පුද්ගලයා මුහුණදෙන දුක, හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්), එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවුඩයයි.ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුළ කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ (ඉපදෙමින් මැරෙමින් යන) සසර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.
යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.

මූලික උගැන්වීම්[සංස්කරණය]

“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානුසාසනං.“
සියලු පවින් වැලකුමත් - කුසලයෙහි යෙදීමත්, සිත දමනය කිරීමත් - බුද්ධ අනුසාසනයයි.
මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් ලෝකවල ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.
කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා රෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට (අනිත්‍ය), ඒ නිසාම දුක් සහිත (දුක්ඛ) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි (අනාත්ම) ස්වභාවයෙන් යුක්ත බව, යන යතාර්ථය ගැඹුරෙන් සිතන ඕනෑම කෙනෙකුට දැක ගත හැකිය. එම දැක්ම අෂ්ඨලෝක ධර්‍මය හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය ජීවන දර්ශනයයි (නිවීමයි).

චතුර්රාර්ය සත්‍යය[සංස්කරණය]

බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී තථාගතයන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි ධර්‍ම දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමම වන බැවිනි.
"මහණෙනි , මෙම චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය." [2]
බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකිය.
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව

  1. දුක පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛාර්ය සච්ච)
  2. දුකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ සමුදයාර්ය සච්ච)
  3. දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධාර්ය සච්ච)
  4. දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සච්ච)

පටිච්ච සමුප්පාදය[සංස්කරණය]

සංසාරය හෙවත් යමෙක් හෝ යමක් පවතින්නේ වෙනත් දෙයක්, සංකීර්ණව විහිදුණූ අතීත, වර්තමාන හා අනාගතය හා බැදුනු හේතුඵල ජාලයක පැවැත්මෙනි. සියලු දේම අනෝන්‍යව හේතු ඵල අනුව පවත්නා බැවින් (ශුන්‍යය). එය අනිත්‍ය වීම හේතුවෙන් තමන් යැයි හදුන්වන විශේෂිත වූ පුද්ගලයෙක් නැත (අනාත්ම)ය. හේතූන්ගෙන් හටගත්(සංඛත) සියල්ල ත්‍රිලක්ෂණය ට යටත්ය. - “සබ්බේ සංඛාරා අනිච්ඡා ති“.
අනිත්‍ය - සියළු ‍දේ නැසෙන සුළුයි.
දුක්ඛ - සියළු සත්වයෝ දමනය නොකළ සිත් ඇති නිසා දුක් විදිති.
අනාත්ම - සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී.

සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම[සංස්කරණය]

සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම යනු සූත්‍ර දේශනාවල දක්වා ඇති නිවන (බෝධිය) ලබාගැනීමට සම්පූර්ණ කලයුතු සතර සතිපට්ඨානයසතර ඍද්ධිපාදසතර සම්මප්මදාන වීර්යයපංච ඉන‍්ද්‍රියපංච බලසප්ත බොජ්ඣංගආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ධර්ම කරුණු ය. මෙම දහම ඉලක්ක වී ඇත්තේ නිවන වෙතම ය; එහි ගැබ් වී ඇත්තේ විමුක්ති (දුකින් පරිපූර්ණ ලෙස ම මිදීම) රසය යි.

තිසරණ[සංස්කරණය]

බුද්ධ ධර්මයට අනුව බෞද්ධයකු සරණයායුත්තේ තිසරණ පමණකි.
  1. බුද්ධ
  2. ධම්ම
  3. සංඝ
බුදු රජාණන් වහන්සේ ශ්‍රාවකයන් ට අනුදැන වදාළේ තමා ම සරණ කරගෙන; ධර්මය ම සරණ කරන ගෙන වාසය කරන ලෙස යි.
අත්‌තදීපා, භික්‌ඛවෙ, විහරථ අත්‌තසරණා අනඤ්‌ඤසරණා, ධම්‌මදීපා ධම්‌මසරණා අනඤ්‌ඤසරණා.
පින්වත් මහණෙනි, තමා ව (සයුරෙහි වැටුණ කෙනෙක් රැකවරණය පිණිස පිහිනා යන දූපතක් මෙන්) පිහිට කර ගන්න. තමා ව පිළිසරණ කර ගන්න. බාහිර කෙනෙක් පිළිසරණ නො කර ගෙන සිටින්න. ධර්මය පිහිට කර ගන්න. බාහිර දෙයක් පිළිසරණ නො කර ගෙන සිටින්න.
අත්‌තදීපානං, භික්‌ඛවෙ, විහරතං අත්‌තසරණානං අනඤ්‌ඤසරණානං, ධම්‌මදීපානං ධම්‌මසරණානං අනඤ්‌ඤසරණානං යොනි උපපරික්‌ඛිතබ්‌බා. කිංජාතිකා සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා, කිංපහොතිකා
පින්වත් මහණෙනි, තමාව පිහිට කර ගෙන, තමාව පිළිසරණ කර ගෙන, වෙන කෙනෙක් පිළිසරණ නො කර ගෙන, ධර්මය පිහිට කර ගෙන, ධර්මය පිළිසරණ කර ගෙන, වෙන දෙයක් පිළිසරණ නො කර ගෙන වාසය කරන්නා වූ ඔබ නුවණින් ම විමස විමසා බැලිය යුත්තේ මේ සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් හට ගන්නේ කුමකින් ද කියා ය. ප්‍රභවය වන්නේ කුමකින් ද කියා ය.
— අත්‌තදීපසුත්‌තං[3]

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්[සංස්කරණය]

ගොනුව:Buddha Bodhgaya.jpg
ගෞතම බුදුන්ගේ ප්‍රතිමාවක්, භාග්‍ය, ඉන්දියාව
බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි, සංස්කෘත, ටිබෙට් (මොංගාලියානු පරිවර්තන) හා චීන වන අතර සමහරක් කොරියාන් භාෂාවෙන් ද තිබේ. මෙය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරුණු විට සියලු සම්ප්‍රදායන් බැඳී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මත වර්ගීකරණය සඳහා මෙය සුදුසු නොවේ.
  • සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති.
  • සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය, චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර සම්ප්‍රදායන් වල මේවාට එතරම් ලොකු වැදගත්කමක් නොලැබේ.
  • ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගත හැක (බෝධි)
  • බුද්ධත්වය ඉහළම මාර්ගඵලයයි. ථේරවාදී බුදුසමයේ දි රහතන්වහන්සේලා ලබාගත් නිර්වාණය ද බුදුන් වහන්සේ කෙනෙක් ලබාගන්නා නිර්වාණය හා සම බව සලකයි. (සියල්ලන්ටම පවතින්නේ එකම නිර්වාණයකි) බුදුන් වහන්සේනමක් යනු තනිවම නිවන් මග සොයාගෙන එය අන්‍යයන්ට අවබෝධ කරදෙන තැනැත්තෙකි.

ත්‍රිපිටකය[සංස්කරණය]

බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් ත්‍රිපිටකයනමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ ත්‍රිපිටකය නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
බුදු දහම අඩංගු වන්නේ ත්‍රිපිටකය නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: සූත්‍ර පිටකය යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, නවාංග ශාස්තෘ ශාසනයට අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; විනය පිටකයෙහි ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; අභිධර්ම පිටකය යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.
බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ගේ නියම ඉගැන්වීම් සැබෑ ලෙසම අඩංගු වන බවයි. නමුත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද මහායාන සුත්‍ර බුද්ධ දේශනා නොවේ. නමුත් කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරැණු යැයි නිසැකයෙන් ම කීමට නොහැකි හෙයින් මහායාන ලියවිලි වල තම ශ්‍රාවකයාට මේ බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අඩංගු වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි.

බුද්ධාගම[සංස්කරණය]

බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල බුදු දහම පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. බුදු දහම ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.
බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ද, නොඑසේ නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ අඩංගු නොවේ. මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකට නොගනී.
විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබදව විවිධ මතභේද පවතී.

මුල් බුදුසමය[සංස්කරණය]

සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සදහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත් තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරෑපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලගා කරගැනීමට යොදා ගනී.

වජ්‍රායනය[සංස්කරණය]

වජ්‍රායනය හා එහි තාන්ත්‍රික ප්‍රතිපත්ති හටගත් කාලය පිළිබඳව විවිධ මත තිබේ. ටිබෙට් ජනප්‍රවාදවලට අනුව ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ තන්ත්‍ර දේශනා කළද ඒවා රහස්‍ය ඉගැන්වීම් නිසා ඒවා ලියාතැබුවේ උන්වහන්සේගේ අනෙක් දේශනාවලට බොහෝ කලට පසුවයි. නාලන්දා විශ්ව විද්‍යාලය වජ්‍රායන මතවාදයේ කේන්ද්‍රස්ථානය වු අතර 11 වන ශතවර්ෂය තෙක්ම වජ්‍රායන ක්‍රමවේදය පුරෝගාමීත්වය ඉසිලීය. මෙම කරුණු, ධර්ම ග්‍රන්ථ හා මතවාද චීනය, ටිබෙටය, ඉන්දුචීනය හා ගිනිකොණ චීනයට පැතිර ගියේය.
මෙම විෂය සම්බන්ධයෙන් ලියැවුනු පළමුවන නූතන නිබන්ධනයේ අයිතිකරුවන ෆෙයාර් ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොනලඩ් එච්. ඩේවිඩ්සන් විග්‍රහ කරන්නේ වජ්‍රායනයේ නැග්ම එකල ඉන්දියාවේ දේශපාලනික වෙනස්වීම් වලට ප්‍රතිචාරයක් ලෙස ඇතිවූ බවයි. ගුප්ත අධිරාජ්‍යයේ බැස්මත් සමඟම ඇති වූ කලහකාරී දේශපාලනික වාතාවරණය නිසා සම්ප්‍රදායික බුද්ධ ආශ්‍රමවලට අනුග්‍රාහකයින් සොයා ගැනීම දුෂ්කර වූ අතර සිද්ධුන් විසින් මෙහෙය වු ජන ව්‍යාපාර වඩා ප්‍රචලිත විය. ශතවර්ෂ දෙකකට පමණ පසු මෙය ආශ්‍රම තුළට සම්බන්ධ වීමට පටන් ගැනිණි.
වජ්‍රායනයේ මුලිකාංග බොහෝ ප්‍රමාණයක් සංවර්ධනය හා සංයුක්ත කිරීමෙන් සිදුවිනි. මෙයින් බොහෝ කොටස් ශතවර්ෂ ගණනාවක් පැවතුණි.

වර්තමානයේ බුද්ධාගම[සංස්කරණය]

tiny globe
කොරියාවේ විහාරයක්
බුදුදහම ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වු අතර එහි අවට රටවල්වල බුදුදහම පැවතුනද, බුදුදහමේ ව්‍යාප්තියක් සිදු නොවීය. නමුත් වර්තමානයේ එය නැවත ශක්තිමත් වෙමින් පවතී. බුදුදහම අදහන්නන් මිලියන 230 සිට 500 දක්වා ප්‍රමාණයක් ලොව පුරා පැතිර සිටින අතර සමහරක් ඇස්තමේන්තුවලට අනුව එය මිලියන 310 ක් පමණ වේ. නමුත් මෙම ප්‍රමාණය නියත නොවේ. එයට හේතු,
  • බෞද්ධයන් යන ගණයට අයත්වන්නන් නිර්වචනය අපහසු වීම
  • චීනය, වියට්නාමය හා උතුරු කොරියාව යන රටවල තත්වය
එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහන ආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යන බවය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතම සංවිධාන වලින් එකකි.
  • පාලි ධර්ම ග්‍රන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය.
  • චීනය, ජපානය, කොරියාව, තායිලන්තය, සිංගප්පුරුව හා වියට්නාමයේ පවතින්නේ චීන බසින් ධර්ම ග්‍රන්ථ ලියවුණු මහායාන බුදුදහමයි.
  • ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ.
ආගමික සංඛ්‍යාන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේ ඉහත සඳහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20? පමණ බැතිමතුන් සිටින බවයි.
වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලි ලෙස සළකන අතර නැ‍ගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනා සංවිධානයකින් යුක්තවන අතර රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එය නිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්‍යාත්මික දර්ශනයකි.

ධර්ම සංගායනා[සංස්කරණය]

ධර්ම ග්‍රන්ථවලට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමුවන ධර්ම සංඝායනාව පැවැත්විය. ඉන්දියානු සම්ප්‍රදායට අනුව ඉගැන්වීම් පරපුරෙන් පරපුරට පැවතුනේ මුඛ වහරෙනි. මෙම සමුළුවේ මූලික අරමුණ වුයේ මෙසේ මුඛ පරම්පරාවෙන් පැවතෙන ධර්ම කරුණු සාමුහිකව කියවීමෙන් පසුව එම කරුණුවල වැරදි තිබේදැයි පරික්ෂා කිරීමයි. පළමුවන ධර්ම සංඝායනාවේදී බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වන ආනන්ද තෙරුන් විසින් පාලි සූත්‍ර හා අභිධර්මය කියවූ අතර උපාලි මහරහතන් වහන්සේ විනය නීති දේශනා කළ සේක.
දෙවන ධර්ම සංඝායනාවෙන් යම් කාලයකට පසුව සංඝ සමාජය විවිධ නිකාය බෙදීම් වලට ලක්විය. මෙම නිකාය භේදය ඇතිවූයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන් වු වහාම සිදු විය.
නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථේරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරු පරම්පරාවක් වන සරස්වතිවාද හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුව මෙම භේදය රහතන් වහන්සේලාගේ තත්වය පහළ බැසීමට හේතු වූ කරුණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර ථේරවාදි සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදී මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේද හටගැනීම ආරම්භ විය.
ටිබෙට් දුල්වා ග්‍රන්ථයන්හි සංගායනාව සඳහා පාදක වූ වෙනස්ම හේතුවක් දැක්වේ. “සැරියුත් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා අසූදාහක් පිරිනිවන් පෑහ. මුගලන් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා සැත්තැදහසක් පිරිනිවන් පෑහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංවේගයට පත් මහරහතන් වහන්සේලා එක්ලක්ෂි අසූදහසක් පිරිනිවන් පෑහ. එහෙයින් මහජනයාගෙන් එල්ලවන චෝදනාවන්ගෙන් මිදීම පිණිස ධර්මය සහ විනය සංගායනා කළහ.” යනුවෙන් එහි සඳහන් වේ. මේ හා සමාන ප්ර කාශයක් මහා වස්තුවේද හමු වේ. එහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහරහතන් වහන්සේලා පන්සීයක් පිරිනිවන් පෑ බවත් ඒ නිසා සංගායනාව සිදු කළ බවත්ය.
මෙම සියලු කාරනා පිරික්සා බැලීමේදී පැහැදිලි වන කරුණ නම් බුදු දහමේ සුරක්ෂිතභාවය උදෙසා ධර්ම සංගායනාවක අවශ්‍යතාව බුද්ධ කාලයේ සිටම පැවති බවයි. එය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ සඳහා සුභද්‍ර නම් මහලු භික්ෂුවගේ වචනය ප්‍රබලම හේතුවක් වූ අතර විසිරී තිබූ ධර්මය එක්රැස් කිරීමටත්, ධර්මය හා විනය සම්බන්ධව පැවති ගැටළු නිරාකරණය කිරීමටත් ඇති වූ උවමනාව ධර්ම සංගායනාවක් කිරීම සඳහා හේතු විය. එමෙන්ම බුදුන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය සහ විනය ගුරු තනතුරෙහි තබා ගන්නා ලෙස කළ අවවාදයත්, ධර්මය සංගායනා කිරීමේ වැදගත්කම සඳහන් වන දේශනාත් ප්‍රථම සංගායනාව සඳහා පාදක විය. එහෙයින් පාවචනය අතීතසත්ථුක නොවන පරිදි දෙව්මිනිසුන්ගේ හිත සුව පිණිස, ශාසන චිරස්තිථිය සඳහා මහතෙරුන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරන ලදී. ඒ අනුව යමින් ස්ථවිරයන් වහන්සේලා විසින් සංගායනාත්‍රයක් සිදු කළ බැව් ශාසන ඉතිහාසය තුළින් ප්‍රකට වේ.









සම්මා සම්බුදුවරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigationJump to search
බුදුන් වහන්සේගේ රුව දක්වන ශෛලමය ප්‍රතිමාවක ඡායාරූපයක්.
[සඟවන්න]
ප්‍රමුඛ චරිත
සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම සත්‍යය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැණුම බෙදාදුන් උතුමන්ය. වත්මන් කාලයට පෙරත් අනාගතයේත් බුදු උතුමන් පහල වෙති..
අප තිලෝකාග්‍ර, සුගත තතාගථ, මහා කාරුණික, සම්මා සම්බුදු, ථෙරවාද බෞද්ධයන්ගේ එකම අධ්‍යාත්මික පැතුම හැකි ඉක්මනින් සසර දුකින් මිදී නිවන් දැකීමය. සම්මා සම්බුදු වරුන් ලොව පහල වන්නේ ඉතාම දීර්ඝ කාලයකින් බවත් එය අතිශය දුර්ලභ භාග්‍යයක් බවත් ථෙරවාද බෞද්ධ ඉගැන්වීමයි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ථෙරවාද බෞද්ධයන් උන්වහන්සේගේ සම්බුදු සසුනෙහි උත්සාහවත් වීමෙන් බුදු සසුන ලොවින් අතුරුදන් වීමට පෙර ධර්මය අවබෝධ කර නිවන් මගට යොමු වීම ථෙරවාද සම්ප්‍රදාය වඩාත් ප්‍රධානතම අරමුණ ලෙස සලකයි. යම් හෙයකින් මෙම බුදු සසුනෙහි පිහිට ලබා නිවන් අවබෝධ කිරීමට නොහැකි වුවහොත් සසරෙහි නැවතත් දුකට පත්වීමටත් සතර අපායෙහි වැටීමට සිදු වීමටත් සිදුවන බැවින් ප්‍රමාද නොවී ධර්මයට යොමු විය යුතු බවත් පින් රැස් කල යුතු බවත් ථෙරවාද බුදු සමය ශ්‍රාවකයන්ට කියා දෙයි. කෙසේ වෙතත් ගෞතම බුදු සසුන පිරිහීමෙන් පසුව ධර්මය අතුරුදන් වීමත් ඉන් පසුව ලෝකය දුශ්චරිතයෙන් සහ පවින් පිරුණු මිනිසුන් ආයුෂයෙන් පිරිහෙන කාලයකට ගමන කරන බවත් මනුෂ්‍ය ආයුෂ අවුරුදු දහයකට අඩුවන බවත් අනතුරුව මිනිසුන් ද්වේශයෙන් එකිනෙක හිංසාවට පත්කර මරා ගනිමින් මහත් විනාශයක් සිදු කරගන්නා බවත් ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ථෙරවාද ධර්මයෙහි සඳහන් වෙයි. එයින් අනතුරුව මිනිසුන් නැවත සුචරිතයෙහි හැසිරීමෙන් නැවත ආයුෂ වැඩි දියුණු වී මිනිස් ආයුෂ අවුරුදු අසුදහසක් දක්වා වැඩි වූ පසුව නැවතත් "මෛත්‍රී" බුදුපියාණන් වහන්සේ ලොව පහළවන බවත් ථෙරවාද ධර්මයෙහි දැක්වෙයි. තවද මෙම බුදු සසුනෙහි ධර්මය අවබෝධ නොකළහොත් මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමද සමහර බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වෙයි. ථෙරවාද බුදු දහම අනුව විමසා බැලීමේදී පෙනී යන්නේ එසේ නැවත පහල වන බුදු සසුනකින් හෝ පිහිටක් ලබා ගැනීමට වුවද පවින් දුරු වී මෙම ගෞතම බුදු සසුනෙහි උත්සාහවත් වී සතර අපායෙන් මිදී ථෙරවාද ධර්මයෙහි ඉගැන්වෙන ගුණ ධර්ම තමන් තුල දියුණු කර ගත යුතු බවයි.

බුද්ධත්වය ලැබීම 

බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු සර්වඥතාඥාණය හෙවත් අවබෝධතා ඥාණය ලබා ගැනීමයි. (සංස්කෘත භාෂාවෙන් බුද්ධත්ව - පාලී බුද්ධත්ත නැතහොත් භාෂා දෙකෙන්ම බුද්ධභාව යනුයි.) අවබෝධතා ඥානය යනු සංස්කෘත භාෂාවෙන් සම්‍යක්සම්බෝධි, පාලී සම්මා සම්බෝධි යනුයි. ධර්මය කුමක්දැයි පහදා දීමට ගුරුවරයෙකුද නොමැතිව, චතුරාර්ය සත්‍ය සහ ආර්යාෂ්ඨාංගික මාර්ගයද ලෝකයේ නොපවතින අවස්ථාවක ස්වොත්සාහයෙන් බුද්ධත්වය ලබා ගෙන ඒ දහම කියා දීම පිණිස පහල වන තැනැත්තා හඳුන්වාදීම සඳහා පාලී ග්‍රන්ථ වල සහ ථෙරවාදී සම්ප්‍රදායයෙහි 'බුද්ධ' යන යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉතා පුළුල් වශයෙන් 'නිර්වාණ'ය ලබා ගත් සියලු තැනැත්තන් සඳහාද එය යොදනු ලැ‍බේ. බුදු වරයෙකුගේ ඉගැන්වීම් අනුව අවබෝධතා ඥාණය ලබා ගත් අය 'අර්හත්' ලෙස හැඳින්වෙන අතර බුදුන් සඳහාද එය යෙදේ. නිර්වාණය යන්නෙහි මූලික පරමාර්ථය අනුව අර්හත් සහ බුද්ධ සමාන වුවද (රහතුන් වහන්සේලා සහ බුදුවරු) ඒ තත්වයන් දෙකෙහි වෙනස්කම් පෙන්නුම් කරන්නේ පාරමිතා පිරීම පැත්තෙනි. මහායාන සම්ප්‍රදායට අනුව අවබෝධතා ඥාණය ලබා ගත් සියලු තැනැත්තන් හැඳින්වීම තෙක් 'බුද්ධ' යන වචනයෙහි අර්ථය පුළුල් වෙයි. 'ථෙරවාද අරහත්' යනුද එක්තරා බුදු කෙනෙකු ලෙස මෙම මහායාන සම්ප්‍රදායයෙහි ඉගැන්වෙන අතරම මෙම භාවිතාව ථෙරවාදි අටුවා වලද සමහර විට හමුවේ. සිද්ධාර්ථ ගෞතමයන් එකම බුදුන් ලෙස බෞද්ධයෝ නොසළකති. පාලි ග්‍රන්ථ වල ඊට පෙර සිටි බුදුවරුන් බොහෝ ගණනක් ගැන සඳහන් කර ඇත. (බුදුන් 28 නමකගේ ලේඛණය බලන්න.) මේ අතර මහායාන බුද්ධාගමෙහි ඊට අමතරව ඓතිහාසික සාධක වලින් හමු වන බුදුවරුන්ට වඩා දේවත්වය ආරෝපණය කළ බුදුවරු වෙති. (අමිතාභ නැතහොත් වයිරෝචන ආදී උදාහරණ බලන්න.) බුද්ධාගමේ සියලු පාර්ශව වල පොදු පිළිගැනීමක් වන්නේ ඊළඟ බුදුන් වහන්සේ මෛත්‍රිය නම් බුදුවරයෙකු බවයි.

අටවිසි බුදුවරු

සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය . ක්‍රි.පූ 623 සිට ක්‍රි.පූ. 543 වූ අතර බෝධි මය ඵලය ක්‍රි.පූ. 588 දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික බෞද්ධයා යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු ධර්මයනැවත සොයා ගත් සහ නිර්වාණය සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් කර්ම ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "ගෞතම බුදුරජාණන් වහන්සේ " (බෞද්ධහැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පහලවීමට පෙර "කස්සප බුදුරජාණන් වහන්සේ " මෙලොවට පහල වූ අතර අනාගතයේ දී පහලවන බුදුන් "මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" ය. අටවිසි බුදුන් වහන්සේලාගේ නම් පහත දැක්වේ.
  1. තණ්හංකර බුදුරජාණන් වහන්සේ
  2. මේධංකර බුදුරජාණන් වහන්සේ
  3. සරණංකර බුදුරජාණන් වහන්සේ
  4. දීපංකර බුදුරජාණන් වහන්සේ
  5. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ
  6. මංගල බුදුරජාණන් වහන්සේ
  7. සුමන බුදුරජාණන් වහන්සේ
  8. රේවත බුදුරජාණන් වහන්සේ
  9. සෝභිත බුදුරජාණන් වහන්සේ
  10. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
  11. පදුම බුදුරජාණන් වහන්සේ
  12. නාරද බුදුරජාණන් වහන්සේ
  13. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
  14. සුමේධ බුදුරජාණන් වහන්සේ
  15. සුජත බුදුරජාණන් වහන්සේ
  16. පියදස්සි බුදුරජාණන් වහන්සේ
  17. අත්ථදස්සි බුදුරජාණන් වහන්සේ
  18. ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ
  19. සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ
  20. තිස්ස බුදුරජාණන් වහන්සේ
  21. ඵුස්ස බුදුරජාණන් වහන්සේ
  22. විපස්සි බුදුරජාණන් වහන්සේ
  23. සිඛි බුදුරජාණන් වහන්සේ
  24. වෙස්සභු බුදුරජාණන් වහන්සේ
  25. කකුසන්ධ බුදුරජාණන් වහන්සේ
  26. කොනගමන බුදුරජාණන් වහන්සේ
  27. කස්සප බුදුරජාණන් වහන්සේ
  28. ගෞතම බුදුරජාණන් වහන්සේ